විදේශ රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ අනුව, 2019 ජනවාරි 01 දින සිට 2024 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.
2024 වර්ෂයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි බවයි සඳහන් වෙන්නේ.
05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු. 25,000 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු. 30,000 ක්ද හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු. 40,000 ක්ද බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.















